චිරන්තිකා තමයි "අම්මා" !
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා කියල සංගීත් විජේසූරිය කියද්දි ඒ සිංදුවෙ එන අම්ම තමයි "චිරන්තිකා". අපි ඒ ලෙවල් කරන්න සිරිමාවෝ එකේ දොළහ බයෝ නෙලුම් පංතියෙ වාඩි උනාම අපිට පේලි දෙකක් ඉස්සරහින් හිටියෙ එයා. එයාව මම ඊට කලින් දන්නවා. මොකෝ එයා ටීවී එකේ ඉන්නවා. වැසිවසිනා අහස අපී එකේ ලක්මිණි උඩවත්ත ඇරුණම දෙවැනියට වැඩිම අවදානයක් ගියපු වෝකලිස්ට් එයා. ඉස්සර නිදහස් දින ජාතික උස්සවයේ ජනාධිපතිතුමා කොඩිය උස්සද්දී ලානිල්පාට ළමා සාරි අඳින සිරිමාවෝ ටීම් එකේ බාහුං සහස්ස මභිනිම් කියන්නත් එයා ඉන්නවා. එයා තමයි සෙක්ෂන් එකේ සිලිබ්රිටි. මං ඉතිං ඒ ලතා මංගේෂ්කාර් ගේ පේළියට පේලි දෙකක් පස්සේ වාඩිවෙලා හිටියෙ. එයා අපට නම දැම්මේ "ගෝල්-බෝම්බ්" ය කියල. හැබැයි එයාට බද්දේගම නෑදෑයෝ හිටියා, කමක් නෑ .දුකක් නෑ.
යම් හේතුවක් නිසා මම වෙනම සංධානයක් හදාගෙන යොශානියි ශර්මිලයි එක්ක එකතු උනාම මාට පුළුවන් වෙනවා හරියටම එයාගේ පිටිපස්සෙ පේලියට එන්න. ඊට පස්සෙ ඉඳල මං ඉතිං ඒ ලතා මංගේෂ්කාර් ගේ පේළියට පේලියක් පස්සේ වාඩිවෙලා හිටියෙ. එතකොට එයා පස්ස හැරෙනවා නිතරම මට බයින්න. "කෑ ගහන්න එපා. වැඩක් නැත්තම් පොතක් පතක් කියවගන්න. කටේ සද්දෙ අඩුවෙන් කතා කරන්න" කිව්වට ඒවා එහෙම කරන්න පුළුවන් දේවල් නෙවෙයි. නමුත් එයාට තියෙන බය නිසා අඩුතරමේ විනාඩි පහළොවකට හරි ඔය නිශ්ශබ්දතාවය රකිනවා. ආයෙත් කෑ ගැහුවම ආයෙත් බනිනවා.
ඔය කාලේ මට බෝඩිමෙන් යන්න වෙන තත්වයක් ආව. මම ඒ ගැන කතා කරද්දී එයා පිටිපස්ස හැරිලා අර මට බනින විදියටම කිව්වා එයා මට උපේකලගේ ගෙදර නවතින්න හදල දෙන්නම් කියල. කිව්වා වගේම කළා.
ඔය කාලේ වෙනකොට මමයි මධුරයි යාලු වෙලා. අපි නුගේගොඩ හවස පංතියෙන් පස්සෙ කතා කරනවා. කතා කරකර දෙහිවල ඇන්ඩර්සන් පාරේ බස් එකේ යනවා, මම අලුබෝගහවත්තෙන් බහින කල්ම. ඊළඟ දවසෙ උදේ ඉස්කෝලෙ ගියාම චිරන්තිකා පස්ස හැරෙනවා, මට බයිනවා මධුරව සුමානෙට දවසක් හම්බුනාම ඇති, යුනිෆෝර්ම් එකෙන් කතා කර කර බස් වල යන්න එපා කියල. එයාම මට ප්ලෑන් එකක් හදනවා ඉරිදාට විතරක් මධුරව මීට් වෙන්න. මම එහෙම නොකරන හැමදාම පේළියේ පිටිපස්සට හැරෙනවා, මට බනිනවා.
ඔය කාලේ දෙදාහේ මට ඕන වෙනවා ඉස්කෝලේ යන ගමන් එෆ් එම් නිවේදකයෙක් වෙන්න. චැනල් වල ඇඩ් යනවා වොයිස් පීස් එකක් එක්ක පින්තූරයක් එවන්න කියල. ඒ වෙනුවෙන් නුගේගොඩ හංදියේ අර ස්ටැන්ලි තිලකරත්න බෝඩ් එක්ක තිබ්බ තැන තිබ්බ ස්ටුඩියෝ එකෙන් මම ෆොටෝ හතරක් ගහනවා. ලොකු කන්දකුයි මල්වත්තකුයි මැද්දේ මම ඉන්න ෆොටෝ එකක්. ඒක දැන් හොයා ගන්නත් නෑ. ඒකට ඇප්ලිකේෂන් එක ටයිප් කරල දෙන්නෙ මධුර. වොයිස් කරන්නේ චිරන්තිකාලගේ ගෙදර. එයා මාව එයාගේ කැසට් සෙටප් රෙකෝඩර් එක ඉස්සරහ වාඩි කරවල බඩෙන් හුස්ම ගන්නය කියල ඊට පස්සේ අර එයා කතා කරනව වගේ ගාම්භීර බාසාවෙන් යමක් රෙකොර්ඩ් කරවනවා. ඔහොම එව්වා දහයක් වත් කරන්න ඇති ඒ කාලේ.
එයා මට හොම්වර්ක් කොපි කරන්න දුන්නෙ නෑ. එයා පොත අයිති ෆස්මිනාට කියනවා මට පොත් දෙන්න එපා කියල. තනියම වැඩ කරන්න දෙන්න කියල. අන්තිමට ෆස්මිනා මට පොත් දුන්නෙ නෑ. මම යොශානි ෆස්මිනාගෙන් කොප්පෙ ගහන කල් ඉඳල, යොශානි ගේ පොත අරන් ලියා ගන්නවා. ඒක අහුවුණු දාට චිරන්තිකා පිටිපස්ස හැරෙනවා, බනිනවා.
එයා සතියකට පාරක්වත් මගෙන් සල්ලි තියනවද අහනවා. එයාගෙන් මම සතියට පස්පාරක්වත් එයාගෙන් කීය කීය හරි ගන්නවා, කැන්ටිමෙන් කන්න. එයාට ඕන උනා මම කොන්ඩේ වවල, පිළිවෙලකට ඇඳලා කරලා ඉන්නවා බලන්න. ඒ ඇරෙන්න එයා මම ගැන විශේෂ බලාපොරොත්තු තියන් හිටියෙ නෑ.
ඔක්කොම ෆක් කරගත්තට පස්සේ දෙදාස් දෙකේ මම ගැම්ම අරන් සබ්ජෙක්ට් මාරු කරලා ඒ ලෙවල් කරලා, පාස් වෙලා රිසල්ට්ස් ෂිට් එක අරන් ගාල්ලේ ඉඳල කොළඹ කළුබෝවිලට එනවා එයාට ඒක පෙන්වන්න. එයා එතකොට ආන්ටිට කියනවා "අම්මට මම කිව්වා නේ මෙයා අනිවාර්යෙන් කවද හරි කැම්පස් යනව කියල.".
මම දෙදාස් හයේ කසාද බඳින්න කලින් එයාගේ ගෙදර ගිහින් ඒ තීරණේ ගැන එයාට කියනවා. කසාද ජිවිතය, මිලේනියම් යුවතිය සහ වගකීම් සම්භාරය මැයෙන් එයා මට පැය දෙකක විතර දේශනාවක් දෙනවා.
මම දෙදාස් දහයේ ප්රෙග්නන්ට් උනාම මුලින්ම ඒ බව දන්වපු තුන් දෙනාගෙන් කෙනෙක් එයා. එතකොට "අද්යතන සමාජයේ මව් භූමිකාව, දරුවාගේ පෝෂණය, සේවා ස්ථාවරත්වය, කුටුම්භය රැක ගැනීම සහ අන්මත ඉවසීම" ගැන එයා ලන්ඩන් වල ඉඳන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ මට දේශනාවක් දෙනවා.
දෙදාස් එකොළහේ මම එයා ලංකාවට ආවම බලන්න යනවා. එතකොට එයා තවත් ශක්තිමත් ගැහැණියෙක් ලෙස වැඩිලා ඉන්නවා. එදා දීපු දේශනාව ඇත්තටම මට මතක නෑ.
එදා ඉඳන් මේ දක්වා මම ඉන්බොක්ස් එකේ එයාගෙන් බැනුමක් අහල නෑ කියන්නේ සරළව මම වැරදි නැතුව ජීවත්වෙනවා කියන එකයි.
දීපිකා මිස් මාතොටින් එන උතුරු සුළගේ එකේ කියනවා "ගුරුතුමී මා සිසුවියයි ඔබ ඒත් අපි එක පංතියේ" කියල. ඔය සින්දුව ආවේ අපි ඉස්කෝලේ යන කාලේ, දෙදාහේ, මල්වරුසාව කැසට් එකේ. ඒ සින්දුව ඇහෙද්දී මැවෙන එකම රූපය චිරන්තිකා. නමුත් පස්සෙ කාලෙක මට ඒකට වඩා දෙයක් හිතට දැනුණා සංගීත් ගේ සිංදුව අහද්දී. චිරන්තිකා තමයි ඒ සින්දුවේ කියන අම්මා.
රුපවාහිනී වැඩසටහනක ඉන්ටර්විව් එකක "ඔබ අද මෙතෙක් ආපු ගමන ගැන කියන්න කියනකොට "මම කොට්ටාව-ගල්කිස්ස දෙසිය පනස්පහ බස් එකේ තමයි ආවේ" කියල උත්තර දෙන මට, අර දෙදාහ අවුරුද්දෙ සිරිමාවෝ එකේ බයෝ නෙලුම් පංතියෙ පිටිපස්සේ පේළියක කොන්ඩේ කපපු ටොම්බෝයි ළමයෙක් හිනාවෙනවා. එයාට ඉස්සරහ පේළියෙ ඉන්නවා චිරන්තිකා.
චිරන්තිකා තමයි "අම්මා"

❤️
ReplyDeleteඔයා මේ පෝස්ට් එක ශෙයාර් කරන හැම සැරේම මම මේක කියවනවා. මගෙ අම්මාත් මතක් වෙනවා
ReplyDeleteඅම්මට අපිව අඳුන්නල දුන්නෙත් ඒ නෝනා තමයි.
Deleteවිනූ ගේ කමෙන්ට් එකේ 2
ReplyDeleteඔයා මේ පෝස්ට් එක ආයිත් ආයිත් දාන්න ඒක කියවනකොට ආයිත් ආයිත් අලුත් වෙනවා මතක.. නප්පෙට කේන්ති යන, මලක් වගේ ලස්සන චිරා අක්කා සහ පෙරදිග සංගීත කාමරේ අපි.. අම්මා එක්ක පවා කේන්ති ගිහින් (සමහර ලස්සන මතක) සංගීත කාමරේ ඇතුලේ පොඩි කාමරේ ඉඳන් අපේ අම්මාට ආඩපාලි කියනකොට ( මමත් ඒවාට හිතෙන් එකඟවුන අවස්ථා නොතිබ්බම නෙවෙයි) එළියේ ගුරු මේසේ ළඟ ඉඳන් අම්මා කඳුළු හංගගෙන හිනා වුන ඒවත් මතක් වෙනවා.. මට තවමත් අම්මා වගේ මගේ දුවගේ වැඩ කරගෙන යන්න ඔලුව හදන චිරා අක්කා අම්මාව ආයිත් ආයිත් මතක් වෙනවා ❤️😘
Deleteමුන්දැ කේන්ති නොගත්තු කෙනෙක් ඉන්නවද මේ ලෝකේ? මාර කේන්තියක් සහ ආදරයක් ඒක !මම නම් බයටම යහමඟ ගියා.
❤️
ReplyDelete