එයා !
මම යුනිවර්සිටි යන කාලේ එයා තමයි අපේ ඩෙපියුටි හෙඩ් ඔෆ් ද ඩිපාර්ට්මන්ට්. පෝස්ට් ග්රජුවෙට් කෝඩිනේටර්. අපි ෆස්ට් ඉයර් එකේදි වැඩ කළේ ඩිපාර්ට්මන්ට් එකේ කොමන් වර්ක් ස්ටේෂන් එකේ. ඒක විසාල ශාලාවක්. රවුම් මේසයි, පුටුයි හෝල් එක පුරාම තියලා තැනින් තැන පැන්ට්‍රි කබඩ් තියන හරි ලස්සන අවකාශයක්. ඒකෙ බිත්ති උසම උසයි. තද ඝනකම විදුරු වලින් හදපු. ලොකු දොරවල් තුනක් එක පේළියට තිබුණා. අපි මැද්දේ දොර වහල තිබ්බේ. ඒ ශාලාවේ උඩ තට්ටුවේ තමයි ෆැකල්ටි ආචාර්ය මණ්ඩලයේ කියුබිකල් තිබුණේ. එයා දවසට එක පාරක් තුන්වෙනි තට්ටුවේ එයාගේ ඔෆිස් එකේ ඉඳන් දෙවෙනි තට්ටුවට බහිනවා. මුලිම්ම පේන්නේ එයාගේ රැළි රැළි කොන්ඩේ. ඊට පස්සේ උරහිස්. පපුව. අන්තිමේ සම්පුර්ණයෙම්ම එයා දකිනවා හරියට කන්දක් උඩින් ඉර පායනවා වගේ.
එයා ආමීර්ඛාන්, සල්මන් ඛාන්, සයිෆ් අලිඛාන් එකතු කරලා අඹපු විචිත්‍ර ප්‍රතිමාවක් වගේ. එයා ඇතුළෙ නොහිටියේ ශාරුක් ඛාන්. එයා විහිළුවට, කතාවට බර කෙනෙක් නෙමේ. හෙනම සීරියස්. හෙනම ප්රෝෆෙසෝරියල්. මුළු මහාද්වීපෙම ඇකඩමික් එයා විසින් දරාගෙන ඉන්නවා වගේ තමයි එයා හැසිරුණේ.
එයා තුන්වෙනි තට්ටුවේ පඩිපෙළ බැහැල කොමන් වර්ක් ස්ටේෂන් එකට එනවා. පිටිපස්සේ දොරෙන් ඇතුල් වෙන්නේ. එතැන ඉඳන් තියෙන හැම මේසයක් ළඟටම යනවා ළමයින්ට ග්‍රිට් කර කර. පීඑච්ඩී එකේ දෙවෙනි අවුරුද්ද කම්ප්ලිට්, රිසර්ච් පේපර් දෙක තුනක් පබ්ලිෂ් කරගත්තු ළමයින්ට එයා කතා කරේ ඩොක්ටර් කියල. ෆස්ට් ඉයර් ළමයින්ට නං නමෙන්ද කොහෙද කතා කළේ. හෝල් එකේ අන්තිම මේසේ ඉන්නේ සාරා යි සබා යි. එයා එතනට ගිහින් උන් දෙන්නට කතා කරනවා, හව් ආර් යූ මිස් සාරා, හව් ආර් යූ මිස් සබා? උන් දෙන්න එයාගෙම පීඑච්ඩී ස්ටුඩන්ට්ස් ලා. මේ උදේ හවස දකින අය. ඉතින් උන් දෙන්නත් අයෑම් ෆයින් තෑන්ක් යූ කියනවා. ඊට පස්සේ පකිස්තාන් මේස, ඉන්ඩියන් මේස, මැද්දේ තියන අප්‍රිකානු ජනපදේ, ජපන්-කොරියන් කෑල්ල, තායිලන්තේ, කාම්බෝජේ, මේවා පහු කරගෙන, ඒ ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට කතා කර කර එයා ඉස්සරහට එනවා. ටේබල් නම්බර් වන් එකේ ඉන්නේ මමයි නුරාදීනුයි. නුරා වර්ක් ස්ටේෂන් එන්නේ පාඩම් කරන්න නෙමෙයි මාත් එක්ක කතා කර ඉන්න. ඌ අඩුගානේ කොළයක් පෑනක් වත් අරන් එන් නෑ.
එයා පළවෙනි මේසේ ලඟට ඇවිත් අහනවා හව් ආර් යූ මිස්ටර් නුරාදීන්? නුරා උත්තර දෙනවා උගේ අප්‍රිකානු ඇක්සන්ට් එකෙන්. ඊට පස්සේ එයා අනිප්පැත්ත හැරෙනවා, යනව. එයා කවදාවත් මට කතා කරලා නෑ. කතා කරන්නේ නෑ. එහෙම නොකරන්න නොකරන්න මමත් හෙන අපහසුතාවයට පත්වෙනවා.
එක පාරක් මම ලියපු ඩ්රාෆ්ට් රිසර්ච් පේපර් එකක් අරං මම එයා ලඟට ගියා ඒක රිවීව් කරගන්න. එයා ගේ කියුබිකල් එක තියෙන්නේ ඩොක්ටර් සහිරා ඉන්න තැනට එහා පැත්තේ. කියුබිකල් නම්බර් ෆයිව්. ඩොක්ටර් සහිරා මගේ කෝ සුපවයිසර්. මගේ හොඳම යාලුවා. මගේ අක්කා. අපි දෙන්න දවසට පැයක් දෙකක් රිසර්ච් ඩිස්කෂන් එක අතරතුර තේ කෝපි බිබී හිනා වෙවී කයිය ගහනවා. ඒ සමහර වෙලාවට ඩොක්ටර් සහිරා කියනවා "අමීර්හුසේන්ට" තරහ ගිහින් අපි දෙන්නටම එළියට යන්න කියයි ද දන්නෑ කියල. හැබැයි කවදාවත් එහෙම වුණේ නෑ.
මම ඩ්රාෆ්ට් රිසර්ච් පේපර් එක අරං කියුබිකල් නම්බර් ෆයිව් එකට ගියා. එයා ඉතින් ගණන් ගන්නේ නෑ. මොනවාද වැඩක් කර කර ඉන්නවා. කබඩ් එක උඩ එයා දිනපු සම්මාන. කාමරේ බිත්ති පුරා එයාගේ බබාලා ඇඳපු චිත්‍ර. අම්මයි, තාත්තයි, බබාලා දෙන්නයි ඉන්න හතරේ පින්තූර පිරිලා. ඒවායේ විවිධ දේවල් ලියල. ඔන්න එයා මගේ පේපර් එක අතට අරන් සතියකින් එන්න කිව්වා මට.
මම හරියටම සතියකින් කිව්වා වෙලාවට ගියා. එයා මට පේපර් එක දික් කරලා කිව්වා ඒක එයාට රිවිව් කරන්න බැරිය, ඒක මාකටින් ප්‍රොපගැන්ඩා කැම්පේන් එකක ඩොකියුමන්ට් එකක් වගේය කියල. සනීපයි ඉතින් මට.
එතකොට මම ඩබල් කාණුවේ ඩිසයින් එක කරලා, වයිස් චාන්සලර් මෙඩල්, අයිටෙක්ස් ගෝල්ඩ් මෙඩල් දිනලා. මම ඉතින් අවංකවම හිතුවා මේ ඩිසයින් එක ෆිසිකලි හදල පෙන්නුවම මට උපාධිය දෙයි වගේ. හැබැයි එයාගේ කොමෙන්ට් එකත් එක්ක මම සියේට සීයක් ප්ලෑන් එක වෙනස් කළා, අනුරාධ මහසිංහට කතා කරලා මැත් මොඩල් එක පටන් ගත්ත. ලැබ් ටෙස්ට් සීරිස් එකක් ප්ලෑන් කළා. මැත් මොඩල් එක ලැබ් ටෙස්ට් රිසල්ට්ස් එක්ක ගලපලා තමයි තිසිස් එක ලිව්වේ. ඒ කියන්නේ අන්තිම අවුරුදු එකහමාර සම්පුර්ණයෙම්ම වෙනස් වැඩසටහනක් වුණා. ඒක හරියට වැඩ කළා. මැත් මොඩල් එක ලැබ් ටෙස්ට් රිසල්ට්ස් එක්ක ගලපන කාලේ මම එයාව හම්බවෙන්න කියුබිකල් ෆයිව් එකට ගිහින් වැඩේ විස්තර කළා. සතපහක අවදානයක් නොදී, පයිසෙකට ගණන් නොගෙන එයා අහන් හිටියා. ගුඩ් කිව්වේ වත් නෑ.
පස්සේ මම ඇමරිකාවට ගියා. ගිහින් ආයේ කැම්පස් එකට ආවා. ලැබ් එකේ ප්‍රොටොටයිප් හැදුවා. ටෙස්ට් කළා. තීසිස් ලිව්වා, සබ්මිට් කළා, වයිවා පාස් වුණා. ඊට පස්සේ ලංකාවට ගියා.
දෙදාස් දාහතේ අගෝස්තු වල කොන්වොකේෂන් එකට ඇප්ලිකේෂන් පුරවමින් ඉද්දි මගේ සහෝදර ශිෂ්‍යයෙක් වන මුජාහිඩ් මට මැසේජ් කළා. මම හිටියේ ඉඩන් ගොඩකිරීමේ සංස්ථාවේ දෙවෙනි තට්ටුවේ, ඩී ජී එම් ඔෆිස් එකේ, පාර දිහා බලාගෙන. මුජාහිඩ් කිව්වා එයා "මැරුණා" කියල.
මට උගුරෙන් පහළට කෙළ වත් ගිලගන්න බැරිවුණා.
ආයේ පැයකින් මුජාහිඩ් කිවව් එයා තුන්වෙනි තට්ටුවේ පඩිපෙළෙන් පල්ලෙහාට වැටිලා කියල.
ඊටත් පැයකට දෙකකට පස්සේ මුජාහිඩ් කිවව් එයා වැටිච්ච තැන වමනේ තියනවා. එයා වසක් බීලා කියල.
මම ඔක්තෝම්බර් කොන්වකේෂන් එකට යද්දී ඩිපාර්ට්මන්ට් එකේ දෙවෙනි තට්ටුවේ, තුන්වෙනි තට්ටුවේ හැමදේම කලින් තිබ්බ වගේම පිළිවෙලට තිබ්බ. කියුබිකල් ෆයිව් එකට අලුත් ෆැකල්ටි මෙම්බර් කෙනෙක් ඇවිත්. බිත්ති වල පින්තූර නෑ. කබඩ් එක උඩ සම්මාන නෑ.
මම ඩොක්ටර් සහිරා එක්ක කතා කරද්දී ඩොක්ටර් සහිරා කිව්වා එයා කැම්පස් එකෙන් අයින් වෙලා ඇමරිකාවේ ගියා. ඒ ගියපු ගමන් ට්‍රම්ප් ප්‍රසිඩන්ට් වුණා. එයා ට එහෙ අවුල් වගයක් ආව.එයා මාස තුනෙන් ආයේ මෙහෙටම ආවා. එහෙම ඇවිල්ල සතියකින් ඕක වුනේ.
මැරෙන්න පැයකට කලින් එයා වයිස් චාන්සලර් හෝල් එකේ ඩිපාර්ට්මන්ට් එකේ බෙස්ට් රිසර්චර් ට දෙන එක්සලන්ස් එවෝර්ඩ් එක අරන් තිබ්බ. ඒක කියුබිකල් ෆයිව් එකේ තියල එයා පලවෙනි තට්ටුවේ කෙමිකල් ලැබ් එකට ගිහින් තියනවා. ආයේ කාමරේට ආවා. වමනේ දාමින් කාමරෙන් එළියට ආවා. තුන්වෙනි තට්ටුවේ අත්වැට අතරින් පෙරලිලා බිමටම වැටුණා. එයා බීලා තිබ්බේ රසදිය. බීලාද එන්නත් කරගෙනද මන්දා. වයිෆ් ආවා ඉරානේ ඉඳලා. මිනිය එහෙට අරගෙන ගියා.
තොරතුරු සහ දැනුම නියපොත්තෙ තියන මේ ලෝකේ එයා ගැන ඊට වඩා කිසි සඳහනක් නෑ. අභිමානවත් ශිෂ්ටාචාරයක් ගිනිකන්දක් පුපුරලා එකපාරට වැළලී ගියා වගේ එයා මේ ලෝකෙන් සදහටම නොපෙනී ගිහින් තියනවා.
ඔය පළවෙනි කොමෙන්ට් එකේ තියෙන්නේ එයාගේ රිසර්ච් ගේට් පේජ් එක.
එයා දවසට එක පාරක් තුන්වෙනි තට්ටුවේ එයාගේ ඔෆිස් එකේ ඉඳන් දෙවෙනි තට්ටුවට බහිනවා.හරියට ෆැකල්ටි ඔෆිස් එකේ ඉඳන් ඉර මුදුන් වෙනවා වගේ.එයා තුන්වෙනි තට්ටුවේ පඩිපෙළ බැහැල කොමන් වර්ක් ස්ටේෂන් එකට එනවා. පිටිපස්සේ දොරෙන් ඇතුල් වෙන්නේ. එතැන ඉඳන් තියෙන හැම මේසයක් ළඟටම යනවා ළමයින්ට ග්‍රිට් කර කර. පළවෙනි මේසෙට එන්නෙ නෑ.

https://scholar.google.com.my/citations?user=rrDqvWsAAAAJ&hl=en
ReplyDelete