බේබි !



බේබි එක්ක මගේ ජීවිතේට ලැබුනෙ පැකේජ් එකක්. අම්ම, තාත්ත සහ බේබි ඉන්න කම්ප්ලීට් කොම්බෝ එකක්. 

සිරිමාවෝ එකේ දොළහ වසරේ බයෝ නෙලුම් පංතියට අලුතින් ඇතුල් වුණු කෙල්ලෝ දහයක් විතර හිටියා. ඒකෙන් එකෙක් මම, තව එකෙක් බේබි. ඒ ඉස්කෝලෙට ඇතුළත් වෙලා මාසයක් හමාරක් යනකල් මට බේබි ගැන මතයක් නෑ. එයා ගැන තියන පළමු මතකේ, අපේ බයෝ නෙලුම් පන්තියේ පිටිපස්ස පේළියේ ලොකු බත් එකක් දිගෑරෙනවා සහ ඒක කන්න ගයාත්‍රි සේනාධිපති මට එන්න කියනවා. අන්න ඒ ලොකු බත්මුල බැඳගෙන ඇවිත් තිබුනේ බේබි. ඇත්තටම බේබි යි මමයි එකතු කරපු බන්ධනය තමයි "බත්".

අපි එතකොට විජේරාමේ බෝඩිමක ඉඳන් ඉස්කෝලෙ එන්නේ. ඒ ජීවිතේ තිබ්බ අඩුපාඩු අතරේ බඩට දැනුනු ලොකුම අඩුව "බත්". බෝඩිමේ ඇන්ටි උදේට, දවල්ට සහ රෑට පාට පාට ප්ලාස්ටික් පිඟන් වලට උන්දැම බෙදල දෙන ව්‍යංජන ඒ දෙන ප්‍රමාණ වලින් කනවා මිස ඊට වඩා යමක් ඒ ජීවිතේ තිබුණෙ නෑ. ඇඟපතින් සහ මනසින් පට්ටම ඇක්ටිව් අවුරුදු දාහතක කෙල්ලෙකුට හැරෙන්නත් මදි බත්පතක් ඒක. ඒ කාලෙ තමයි අපේ බයෝ නෙලුම් පන්තියේ පිටිපස්ස පේළියේ ලොකු බත් එකක් දිගෑරගෙන බේබි කන්න පටන් ගන්නේ. ඉතිං කෑම නිසාම තමයි බේබි මගේ යාලුවා වෙන්නේ. 


ඔය අතරේ දෙවැනි වාරෙදි අපි එක ලඟ වාඩි වෙන්න තීරණය කරනවා. පේළියකට තුන් දෙනයි. තුන් වෙනියෙක්ව එතනට ගන්න මම ඒකා කන්වින්ස් කරන්නෙත් බේබිගේ බත් එක ගැන කියල. හැබැයි ඒ ආපු එකා බත් අඬු කෝප්පයයි, එළවලු සහ මාළු තම්බලා කන සුප් බොන කෙනෙක් නිසා මගෙයි බේබිගෙයි බත් පංගුවට එහෙමට බලපෑමක් වෙන්නෙ නෑ.



අපි දෙවැනි වාරේ ඉද්දි බේබි මාව එයාගෙ ගෙදර එක්කන් යනවා. අපි ඉස්කෝලේ ඉඳල ජාවත්ත පාර දිගේ පයින් ගිහින්, පයිප් පාර දිගේ, චිත්‍රා ලේන් එකේ අර ලොකු ගහ ලඟින් ඇතුළට හැරිලා ඇන්ඩර්සන් ෆ්ලැට් වල එච් බ්ලොක් එකට යනවා. ඒ පළමු ගමනින් පස්සේ දහස් වතාවක් මම ඔය ගෙදරට ඔය විදියටම ගිහින් තියනවා. සංඛ්‍යාත්මකව ගත්තම මම කොළඹ ආවට පස්සෙ මගේ ගෙදර ගිය වාර ගණනට වඩා සියගුණයක් වැඩිපුර  යන්න ඇත්තේ, නිදාගන්න ඇත්තේ ඒ ගෙදර තමයි. ඒක පොලිසියේ නිලධාරීන්ගේ නිළනිවාසයක් එතකොට. ටූ බෙඩ්රූම් එපාර්ට්මන්ට් එකක්. බේබියි, අම්මයි, මල්ලියි, තාත්තයි හිටියේ. මල්ලියි තාත්තයි එක කාමරේක. අනෙක් කාමරේ මමයි බේබියි. අම්ම නිදාගත්තෙ සාලේ. කාමරේ රස්නෙ නිසා එලියෙ නිදාගන්නවය කිව්වට, එයා එහෙම නිදා ගත්තේ එයා "අම්ම" නිසයි. ඔන්න ඔහොම තමයි නාරාහේන්පිට ඇන්ඩර්සන් ෆ්ලැට් එකේ ටූ බෙඩ්රූම් එපාර්ට්මන්ට් එකක මමත් හවුල් පදිංචිකාරයෙක් වුණේ. 

මම උදේ නැගිටලා බේබි එක්ක ඉස්කෝලේ යන්න ලැහැස්තිවෙන දාට අම්මා ලොකු බත්මුලක් බැඳලා, එක ප්ලාස්ටික් බෝතලේකට වතුර එකකුයි තව ප්ලාස්ටික් බෝතලේකට  කොළ කැඳ එකකුයිත් දාල දෙනවා. ඒක මම ඉස්කෝලෙන් අස්වෙලා ඒ ලෙවල් දෙවැනි පාර, තුන්වැනි පාර කරන්න නුගේගොඩ පන්ති යද්දීයි, ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් යද්දීයි, ඊට පස්සෙ පීඑච්ඩී එකේ ඩේටා කලෙක්ෂන් වලට ලංකාවට ඇවිල්ල, සයිට් යද්දීයි පවා ඒ විදියටම සිද්ධ වුණා. 

ඒ ලෙවල් තර්ඩ් ෂයි කරද්දී මට කොළඹ බෝඩිමකට ගෙවන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ. ඉතින් මම ගාලු ගියා. ගෙදර ඉඳන් සතියට දවස් තුනක් කොළඹ ආවා පන්ති වලට. ඒ එන හැමදාම රෑට නිදාගන්නේ   ඇන්ඩර්සන් ෆ්ලැට් වල එච් බ්ලොක් එකේ බේබිලාගේ ගෙදර. ගෙදරට ඇතුළු වෙන තැන තියන මල්පෝච්චිය යට යතුර තියනවා. ඕන වෙලාවක, ඕන දවසක ඒ යතුරෙන් දොර අරගෙන ගේ ඇතුළට යන්න මට පුළුවන් වුනා. එහෙම ඇවිත්  නිදන් ඉන්න දවසක මහ රෑ ඒ ගෙදර තාත්තා ගෙදර ආවා. "බේබිටයි, පුතාටයි නැගිටින්න කියන්න මම ඔයාල තුන්දෙනාට බර්ගර්ස් ගෙනාවා"...කියාගෙන අන්කල් ඇතුළට ආවේ. කෑම ගැන ඇහෙද්දීම බේබි නැගිටලා සාලෙට ගියා. නදීත් ඉන්නවා කියල ආන්ටි කියනවා ඇහුනා. නදී ව නැගිට්ට වන්න, එයාටත් කන්න දෙන්න කියල අන්කල් කියනවා. ආන්ටියි බේබියි ඇවිත් මට කතා කරනවා. මම ඇස් දෙක තද කරගෙන නිදි වගේ හිටියා. එතන තිබ්බේ බර්ගර්ස් තුනයි. හතරවෙනියා වෙන මට එතැනට යන්න ඕන වුණේ නෑ. හැබයි ඊළඟ දවසේ උදේ මම නැගිටිද්දී "නදී ගේ බර්ගර් එක" කියලා එකක් මේසේ උඩ තියනවා. ඕක තමයි මට බේබිගේ ගෙදර ගැන තියන හොඳම මතකය. අදටත් මැක්ඩොනල්ඩ්ස් බෝඩ් එකක් දැක්කත් ඇහැට කඳුළු එන පපුව උණුසුම් වන තරමේ මතකයක් ඒක.

මම කසාද බඳින්න තීරණය කරලා ඒක ප්ලෑන් කරගන්න යන්නේ බේබිගේ ගෙදරට. කාවද බඳින්නේ කියන එකට විතරයි මට උත්තර තිබුනේ. කවදාද බඳින්නේ, කොහෙදීද බඳින්නේ, කොහොමද ඒ වැඩේ සංවිධානය කරන්නේ කියන සියලු දේ කළේ බේබිගෙ තාත්තා. අදටත් මගේ කසාදෙ වෙලාවේ ගත්තු පින්තූරේ දකින බොහෝ දෙනෙක් මට සමීපව ඉන්න තාත්තා පෙන්නලා ඒ මගේ තාත්තාද කියලයි අහන්නේ. 



අනූ ගණන් වල අග බාගේ ලංකාවේ සිංගල් ඉන්කම් පවුලක, සියලු අසීරුතා මැද, තමන්ගේ දරුවෙක් නොවන දරුවෙකුටත් පවුලක රැකවරණය දෙන්න බේබිගේ ගෙදර මිනිස්සු සැදී පැහැදී හිටියා. ඒ රැකවරණය නිසා ජීවිතේ අසීරු කාලේ අසීරුව අඩුවුණා. අදටත් ලෝකේ කොහේ හිටියත් මල්පෝච්චිය යටින් යතුර අරගෙන ගිහින් දොර ඇරගෙන නිදාගන්න නාරාහේන්පිට ඇන්ඩර්සන් ෆ්ලැට් එකේ මට ගෙයක් තියනවා. රැයක් එහෙම නිදාගෙන නැගිටිද්දී රසම රස ලොකු බත්මුලකුයි, වතුර බෝතලෙකුයි, කොලකැඳ බෝතලෙකුයි ටියුලිප් බෑග් එකක දාල මම වෙනුවෙන් තියනවා. රෑට බර්ගර්ස් ගෙනාවොත් ඉන් එකක් අනිවාර්යෙම්ම මගේ නමට මේසේ උඩ තියනවා.


Comments

  1. මගේ හිතට හරිම මිහිරක් දෙනුනා...කතාව ලස්සනයි .මටත් ටිකක් සමාන කතාවක් තියනවා

    ReplyDelete
  2. මාව අඬවන්න හරි අමාරුයි නංගා....
    ඒත්.... ඇස් වල තෙතමනය වැඩි උනා..
    ❤❤❤❤

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

එයා !

චිරන්තිකා තමයි "අම්මා" !